මහවැලි ගඟ ඇත්තටම පටන් ගන්න තැන

අඩි 7360 උස ශ්‍රීපාද කඳුවැටිය උස අතින් ශ්‍රී ලංකාවේ පස්වැනියට උස කඳුවැටියයි. මහවැලි – කැලණි – කළු – වලවේ යන සතර ගංගා ශ්‍රීපාද කඳුවැටියෙන් ඇරැඹෙන බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.

එහෙත් ශ්‍රී ලංකාවේ දිගම ගඟ වූ මහවැලි ග‍ඟේ ආරම්භය ශ්‍රී පාද කඳුවැටියට කිසිසේත් සම්බන්ධයක් නැත. අද ශ්‍රී පාදයට දුම්රියෙන් යන අය දුම්රියෙන් ගොස් බසින්නේ හැටන්වලිනි. 1870 පමණ බදුල්ල දුම්රිය මාර්ගය සෑදීමේ දී එහි එක් නැවතුම්පොළක් වූයේ හැටන් ය. 1870 වනතුරු හැටන් දැඩි ඝන කැළෑවට යට වූ සීතල වනාන්තරයක් විය. හැටන් නගරයට සිංහල නමක් පවා නැත. මහනුවර යුගය දක්වා ම ශ්‍රී පාදය වැඳීමට පයින් ආ වන්දනා නඩවල ගමනාන්තය වූයේ ගිනිගත්හේනයි. ගිනිගත්හේන සිට හඟරාපිටිය හරහා ශ්‍රී පාද වන්දනාවට යාම ඔවුන්ගේ චාරිත්‍රය විය.

හැටන්වල සිට ශ්‍රී පාදයේ සීත ගඟුල දක්වා දුර සැතැපුම් විසි පහකට කිට්ටු වෙයි. සීත ගඟුල යනු කැලණි ග‍ඟේ එක් මුල් ජල දහරාවකි.

මහවැලි ගඟ ආරම්භ වනුයේ හැටන් නගරයෙන් ඇරැඹෙන හැටන් ගඟ හා ජල මූලාශ්‍ර පහකින් ඇරැඹි ගලන කොත්මලා ඔය ප්‍රධාන ජල දහරා දෙක, නාවලපිටිය පසුකර කොත්මලේ මායිමේ පිහිටි පොල්වතුරේදී එකතු වීමෙනි.

හැටන් නගරයට ජලය සපයන සිංඟිමලේ ජලාශයේ දියඋල්පත් හා උතුරා යන ජලයෙන් හැටන් ගඟ කුඩා දියපාරක් ලෙස ආරම්භ වෙයි. එය ආරම්භයේ දී අඩි දෙකක් පමණ පළල කුඩා ජල පහරකි. හැටන් සිට නාවලපිටිය දක්වා හැටන් ගඟ ගලද්දී එකතුවන ගංගා – ඔයවල් ප්‍රමාණය තිහකට කිට්ටු ය. ගිනිගත්හේන‍ට නුදුරු දීගල පසුකරන විට හැටන් ගඟ හා කැලණි ගඟට මුල්වන මස්කෙළි ඔය මීටර් එකසිය පනහක් පමණ කිට්ටුවෙන් වෙන වෙනම ගලා යයි. හැටන් ගඟ කොත්මලා ඔයට එකතු වී කොත්මලේ පොල්වතුරේදී මහවැලි ගඟ නිර්මාණය වෙයි.

එස්.කේ.ජයවර්ධන

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *